2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිය අවසන් තරගයට සහභාගී වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම, කැනඩාවට එරෙහිව ලකුණු 82ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට අද (19) සමත් විය. චෙන්නායි හි එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 200ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැනඩා කණ්ඩායමට ඇෆ්ගන් පන්දු යවන්නන්ගේ දරුණු ප්‍රහාරය හමුවේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණි. පන්දු යැවීමේදී අත්දැකීම් බහුල මොහොමඩ් නබි ලකුණු 07කට කඩුලු 4ක් දවාගනිමින් සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර, රෂීඩ් ඛාන් කඩුලු 2ක් බිඳ හෙළීය. මෙම ජයග්‍රහණයත් සමඟ ඇෆ්ගනිස්ථානය ‘D’ කාණ්ඩයේ තෙවන ස්ථානය දිනාගනිමින් තරගාවලිය නිමා කළ අතර, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එම කාණ්ඩයෙන් සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.














