බංකොලොත් භාවය ගැලෙව්වට පසුව මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ශක්තිමත් කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
මන්ත්‍රිවරයා අද (28) දින පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.
ගරු කථානායක තුමනි,
අද දවසේ රාජ්‍ය පරිපාලන, ස්වදේශකටයුතු, පළාත් සභා, පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් වෙලා තිබෙන වෙලාවේ අපි සියළු දෙනා අපේ සෑම විවාදයකදීම මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය තමයි අපි මේ සියලු විවාද කරන්නේ බංකොලොත් වූ රටක වැය ශීර්ෂ සාකච්ඡා කරන අවස්ථාවකයි.
තාම අපේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත් බාවයෙන් මිදිලා නැහැ. එවැනි අවස්ථාවක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ අමාත්‍යංශයට බොහොම අමාරුවෙන් ශක්තිමත් නායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ වගේම ජානක වක්කුඹුර ඇමතිතුමත්, ඒ වගේම අශෝක ප්‍රියන්ත ඇමතිතුමත්, මේ අමාරු අවස්ථාවේ මේ අමාත්‍යංශයට ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් කටයුතු කරමින් සිටිනවා.
මට අවස්ථාව ලැබුණා 2001 වර්ෂයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හසුරුවන්න. ඒ අවස්ථාවේදී ලැබුණු අත්දැකීම්, දේශපාලන ප්‍රයෝජනයට ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ස්වදේශ කටයුතු ඇමතිකම කරන්න අවස්ථාව ලැබුණා. මට මතකයි ඒ අවස්ථාවල අපේ අද විරුද්ධ පක්ෂයේ ඉන්න හාරිස් ඇමතිතුමා පළාත් පාලන රාජ්‍ය ඇමතිතුමා හැටියටත්, අපේ ලන්සා ඇමතිතුමා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමතිතුමා හැටියටත්, අලවතුවල ඇමතිතුමා අපේ ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙත් කටයුතු කළා. අපි සියළු දෙනාටම එකතු වෙලා 2015/2019 කාලසීමාව තුළ මේ අමාත්‍යංශය ඉතාම සාර්ථකව හසුරුවන්න පුළුවන්කම ලැබුණා.
2020 න් පසුව කෝවිඩ් වසංගතයත්, ඒ වගේම ආර්ථික අර්බුදයත් හේතුකොට ගෙන සියලු අමාත්‍යංශ ඉතාම අමාරු තැනකයි අද තිබෙන්නේ. අපි මේ සාකච්ඡා කරන්නෙ හරියට සාර්ථක වූ රටක වැය ශීර්ෂයක් කතා කරන්න වගේ. නමුත් තාම රට බංකොලොත්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කරනවා දෙසැම්බර් මාසයේ දී මේ රට බංකොලොත් භාවයෙන් ගලවගන්න. විශේෂයෙන් මේ අමාත්‍යංශයේ වර්තමාන ලේකම් රංජිත් අසෝක මැතිතුමා රාජ්‍ය සේවයේ ලැයිස්තුවේ ඉන්න ඉහළම නිළධාරියෙක්. එතුමා ඇතුළුව දිසාපතිවරු 25 දෙනා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අපි 337 ක් කළා 2019 කැබිනට් පත්‍රිකාවක් මාර්ගයෙන්.
මේ සියළුම අපේ රාජ්‍ය නිළධාරින් ඉතාම අමාරුවෙන් පසුගිය අවුරුදු 3 මේ රට අරගෙන ගියා. ඇත්තවශයෙන් ඒ ගැන ලේකම්තුමා ඇතුළු, දිසාපතිවරු 25 දෙනා ඇතුළු සියළුම රාජ්‍ය නිලධාරින්ට සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ස්තූති කරන්න තිබෙනවා. ඉතාම අමාරුම අවස්ථාවකයි ඔවුන් පරිපාලනය හසුරවගෙන ගියේ.
වර්තමානයේත් ඉතාම අමාරු තැනකයි මේ අමාත්‍යංශය තිබෙන්නෙ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය කරන භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, සම්පත් සියල්ලම නැතුව අමාරුවෙන් තමයි කරගෙන යන්නෙ. විදුලි සෝපාන නම් අලුත්වැඩියා කරලා නැහැ. වායුසමීකරණ අලුත්වැඩියා කරලා නැහැ. විශාල කඩාවැටීමක තිබෙන අවස්ථාවක්. මේ කඩාවැටීම තිබෙන අවස්ථාවේ තමයි මේ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු අපේ අගමැතිතුමාගේ නායකත්වය යටතේ අපේ ඇමතිතුමාලා දෙන්නා බොහොම අමාරුවෙන් මේක කරගෙන යන්නෙ.
දැන් මේක විවේචනය කරනකොට අපි පරිස්සමින් කරන්න තිබෙනවා. මම දැක්කා අපේ විපක්ෂ නායකතුමා උදේ සඳහන් කළා වර්තමාන ජනාධිපතිතුමාගේ ඡන්ද ප්‍රතිපලය ගැන. මම කියන්න කැමතියි, එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම තමයි විරුද්ධ පක්ෂයේ අද බහුතරය ඉන්නෙ.
දැන් අපි සියලු දෙනා මතක තබාගත යුතුයි ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්.සේනානායක මහත්මයා ජයග්‍රණය කරලා නොවේ අගමැතිධූරය ලබාගත්තේ. ඒ වෙලාවේ ආසන 98 යි. එක්සත් ජාතික පක්ෂයට ආසන 42 යි. බහුතරය නැහැ. බහුතර ද්‍රවිඩ නායකයන්, මුස්ලිම් නායකයන්, සමසමාජ නායකයන්, කොමියුනිස්ට් නායකයන් සහයෝගය දීපු නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති බවට ඩී.එස්.සේනානායක මහත්තයා පත්වුණා.
එතුමා ජයග්‍රහණය කරලා නොවේ රටට නිදහස ලබා ගත්තෙ. පරාජයට පත්වුණාම ප්‍රථම අගමැති වුණා. එහෙනම් පරාජයට පත්වුණාම සියලු දෙනාම එකමුතු කරමින් තමයි එක්සත් ජාතිික පක්ෂය වැඩ කරලා තිබෙන්නෙ. ඉතිහාසය පුරා සෑම නායකයෙක්ම එසේමයි.
ඩඩ්ලි සේනානායක මැතිතුමා වෙන්න පුලුවන්, සර් ජෝන් කොතලාවල මැතිතුමා වෙන්න පුලුවන්. බණ්ඩාරනායක මැතිණිය වෙන්න පුලුවන්. විවිධ නායකයන් එහෙම තමයි වැඩ කරලා තියෙන්නෙ. ඉතින් අපි මතක තබා ගන්න ඕන අපේ පක්ෂයේ හිටපු රණසිංහ ප්‍රේමදාස නායකතුමා. එදා 1956 රුවන්වැල්ලට තරඟ කරලා පරාදයි. එතකොට පැරදුනාම තමයි අත්දැකීමක් ලබාගන්න පුලුවන්. රුවන්වැල්ලෙ එන්.එම්. පෙරේරා මැතිතුමා සමග ඡන්දය ඉල්ලුවම පරාදයි. එතකොට අපේ නායකයා රුවන්වැල්ල අත්හැරලා කොළඹට ආවා. එහෙම තමයි, ජයග්‍රහණය, පරාජය භුක්ති විඳින්න ඕන.
ඉතින් මේ සභාවේ ඒවා කියනකොට අද උදෑසන මම කල්පනා කළා ඒ් වගේ ඒවා නිවැරදි වෙන්න ඕන කියලා. ජය පරාජය වැදගත්. ජය පරාජය දෙකම භුක්ති විඳින්න පුලුවන් වෙන්න ඕන.
ඉතින් ඒ නිසා පැරදුනත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට පුළුවන්කම තිබුණා රට වෙනුවෙන් පෙනී හිටින්න. අපිටත් පුලුවන් දිනන්න ඕන කියලා වැරදි දේ තෝරාගන්න. පැරදුනත් සැපයි නිවැරදි දේ තෝරා ගැනීමෙන්. මං ඒක කිව්වෙ වෙන හේතුවෙක් නිසා නොවේයි. උදෑසන ඒ කතාව මේ සභාවේ සිද්ධවුණු නිසා.
දෙසේ වෙතත් මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි මේ අමාත්‍යංශයේ පසුගිය කාල වකවානුව තුළ අලවතුවල අපේ රාජ්‍ය ඇමතිතුමාට, ලන්සා රාජ්‍ය ඇමතිතුමාට මතකයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ වෙලාවේ නෙදර්ලන්තයත්, එංගලන්තයත් සමග ඒකාබද්ධ කරලා පාලම් 1798 කට ගිවිසුම අත්සන් කළා. විෂය භාර ඇමති හැටියට මමයි ගිවිසුම අතසන් කළේ. ඒ පාලම් ව්‍යාපෘතිය ඉතා වැදගත්. ඒකෙන් පාලම් 200 ක් පමණ මම විෂය භාර ඇමති හැටියට ගාල්ලට ගත්තා. ගාල්ලේ තිබෙනවා ඒ දඬු 800 ක් විතර. ඒ ව්‍යපෘතිය අදටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මට දැනගන්න ලැබුණා එය වියට්නාමය හරහා නැවත ක්‍රියාත්මක කරන්න ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය නැවත කටයුතු කරමින් ඉන්න බව.
ඉතා වැදගත් තීන්දු ගොඩක් ගත්තා අපි අමාත්‍යංශයක් හැටියට. අපිට ඕන වුණා රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න. අපි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තට්ටු 4 ක් හදලා තිබුණු එක ඉතුරු තට්ටු විසි ගානම හදලා බිලියන 4 ක්, 5 ක් වියදම් කරලා පරිපාලන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තා. ඒ වගේම ගම්පහත් බිලියන ගණනක් වියදම් කරලා ඒ තීරණය ගත්තා. මට මතකයි රත්නපුරයේ, ඒ තීරණයම ගත්තා. මට මතකයි මාතලේ, අපි ඒකත් සම්පූර්ණ කළා. මට මතකයි විෂය භාර ඇමති හැටියට අගමැතිතුමා දීපු උපදෙස් අනුව මම ගිහින් මඩකලපුව පටන් ගත්තා. මඩකලපුව අදත් ඉවර වුණේ නැහැ. කොන්ත්‍රාත්කරුගේ ප්‍රශ්න නිසා. කළුතර දෙවැනි අදියර ඉවර කළා. කිලිනොච්චිය ඉවර කළා. පොළොන්නරුව ඉවර කළා. මේවාට අවශ්‍ය පහසුකම් ටික සම්පූර්ණයෙන් දෙන්න තිබෙනවා.
අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 ක 377 ක් කළා. එයින් 180 ක් විතර හැදුවා. උදාහරණයක් යාපනය ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 යි. අපි ඒ 16 න් විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හදලා අවසන් කරමින් ගියා. කිලිනොච්චිය ගත්තොත් 4 යි, ඒ ප්‍රදේශයත් අවසන් කරගෙන ගියා. ඊළඟට මුලතිව් ඉඳලා මාන්තෙයිවලට කිලෝමීටර් 117 යි. මුලතිව්වල තිබුණු ප්‍රශ්නවලටත් හැකි උපරිම සහයෝගය ලබලා දුන්නා. උතුරෙත්, දකුණතේ සමානව අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙලාවේ විශාල මුදලක් මේ අමාත්‍යංශයට ලබා දීලා මේ වැඩකටයුතු සාර්ථක කරගෙන ගියා.
අපිට ඕන වුණා ග්‍රාම නිලධාරී වසම් 14022 ම නිලසෙවණ කාර්යාල 14022 සම්පූර්ණ කරන්න. අපි පොළොන්නරුවේ 335 ම සම්පූර්ණ කළා. අනිත් දිස්ත්‍රික්කවල ටික ටික කරගෙන ගියා. අවසානයේ කොහොමහරි අපේ පාලන තන්ත්‍රය වෙනස් වීමත් සමග ඒ කටයුතු නැවතිලා තිබෙනවා.
දැන් ආපසු මේ රට බංකොලොත් භාවයෙන් ගැලෙව්වට පස්සේ මං හිතනවා ජනාධිපති තුමත්, අග්‍රමාත්‍ය තුමත් එකතු වෙලා මහජන සේවය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ග්‍රාම නිළධාරී 14022 ගේ ව්‍යවස්ථාව, මමත් කැබිනට් පත්‍රිකාවක් ඒ වෙලාවේ ඉදිරිපත් කළා. තවම අවසන් වෙලා නැහැ. ඒකට මුදල් අමාත්‍යංශයේ එකඟතාවය අවශ්‍ය කරලා තිබෙනවා. ඒකට Management Service එකේ එකගතාවය අවශ්‍ය කරලා තිබෙනවා. කඩිනමින් එය අවසන් කරලා මුළු රටම එක ව්‍යාපෘතියක් හැටියට දුවන්න ක්‍රියාකළ යුතුව තිබෙනවා.
නමුත් අපි කතා කරන හැම නියෝජිතයෙක්ම මතක තබා ගත යුතුයි මේ කතා කරන්නෙ බංකොලොත් අයවැයක බංකොලොත් වැය ශීර්ෂය. එහෙනම් දෙසැම්බර් මාසයේ ජනාධිපතිතුමා බලනවා බංකොලොත් භාවය ගැලෙව්වට පසුව මේ අමාත්‍යංශ තව ශක්තිමත් කරලා ඉදිරියට යන්න. එහෙනම් මුළු රටේම මේ ප්‍රශ්නය අවසන් කරගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන් මේකට නායකත්වය දෙනවා. එතුමා පළපුරුදු දේශපාලන නායකයෙක් හැටියට. එතුමාට ඒ ශක්තිය මේ බංකොලොත් භාවය ගැලෙව්වට පසුව මං හිතනවා මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ශක්තිමත් කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා.
අපි බැලුවේ නිලසෙවණවල් 14022 හදලා අගමැතිතුමා තුමා උපෙදස් දුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල ශක්තිමත් කරලා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ශක්තිමත් කරලා, ඒක අමාත්‍යංශයත්, අගමැති කාර්යාලයත්, ජනාධිපති කාර්යාලයත් ඒකාබද්ධ කරලා නිළධාරී 4 දෙනාම එක තැනක වාඩි වෙලා මේ සමාජයේ තිබෙන ප්‍රශ්න ටික අවසන් කිරීම සඳහා ක්‍රියා කිරීම. ඒ සඳහා අපිට ලෝක බැංකුවත්, අනිත් ආයතනත්, විශාල වශයෙන් උදව් කළා. නැවත ඒ උදව් ලබාගෙන නැවත ඉදිරියට යා යුතුව තිබෙනවා. අපි අපි බෙදිලා ගහ ගත්තොත් අපි අමාරුවේ වැටෙනවා. මම අහගෙන හිටියා අපේ කතා කරපු මහජන නියෝජිතයෙක් කිව්වා අපි අපි ගහ ගත්තොත් වාසිය අපිට නොවේ, ඒ නිසා තමයි ජනාධිපතිතුමා දිගටම කියන්නෙ අපි එකතු වෙමු කියලා.
අපිට මතකයි ලලිත්, ගාමිණි, ප්‍රේමදාස මහත්තයාගේ රණ්ඩුව. ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මට කිව්වා මේ තුන් දෙනාම ජීවිත වලින් වන්දි ගෙවලා තමයි මේ රණ්ඩුව අවසන් කරගන්නෙ කියලා.
ඒ නිසා අප මතක තබා ගත යුතුයි. අපි ගැටුණොත් ඒවාට වෙනත් සතුරන් ඇතුල් වෙයි. ඒවායේ ජයග්‍රහණ ලබයි වෙනත් විදේශ සංවිධාන. ඒ නිසා අපි දේශපලානය කරනවා නම් අපි ගහ ගන්නෙ නැතුව, අපි අපි කුලල් කා ගන්නෙ නැතිව කල්පනාවෙන් ඉදිරියට යා යුතුව තිබෙනවා.
අපිට මතකයි ලලිත් ඇතුලත්මුදලි මහත්තයා මරුවාම ඒ ආණ්ඩුව ඇඟිල්ල දික් කළා ප්‍රේමදාස මහත්තයාට. ප්‍රේමදාස මහත්තයා මැරුවම ඇඟිල්ල දික් කරන්න කවුරුවත් හිටියේ නැහැ. ගාමිණි දිසානායක මහත්තයා මැරුණම ඇඟිල්ල දික්කරන්න කවුරුවත් හිටියේ නෑ. කුලල් කා ගත්තා, සියලු දෙනා නැතිවුණා.
චන්ද්‍රිකා මැතිණිය එක ඇහැක් නැතුවයි ජීවත් වෙන්නෙ, ගෝඨාභය මහත්තය පිත්තල හන්දියේ ප්‍රහාරයෙන් අනු නවයෙන් බේරිලායි ජීවත් වෙන්නෙ, ඒකයි ෆොන්සේකා මහත්තයා බඩවැල් ටික අතේ තියාගෙන ජීවත් වෙන්නෙ. එහෙනම් නැවතත් මේ සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් වාසිය අපිට නොවෙයි, ඒ වාසිය ලැබෙන්නෙ මුහුදින් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට කියලා හිතේ තියාගෙන අපි සියලු දෙනා ක්‍රියාකළ යුතුයි කියලා මේ අවස්ථාවේ දී මතක් කරන්න කැමතියි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසිය.