මෙරට පොදු ප්‍රවාහන සේවාවලදී බැංකු කාඩ්පත් (Credit/Debit Cards) භාවිතයෙන් ගෙවීම් කිරීමේදී අය කරනු ලබන කොමිස් මුදල ඉවත් කිරීමට එක් ප්‍රධාන ජාත්‍යන්තර කාඩ්පත් සමාගමක් එකඟතාව පළ කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ප්‍රවාහන අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව ලෝකයේ ප්‍රධානතම කාඩ්පත් මෙහෙයුම් සමාගම් දෙක සමඟ පවත්වන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාව හිමි වී තිබේ. ඒ අනුව අදාළ මව් සමාගම විසින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගනුදෙනු සඳහා වන සේවා ගාස්තු හෝ කොමිස් මුදල් අය නොකිරීමට නිල වශයෙන් එකඟ වී ඇත.
අනෙක් ප්‍රධාන ජාත්‍යන්තර කාඩ්පත් සමාගම සමඟ ද මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ඉතා ඉක්මනින් ඔවුන්ගේ ද එකඟතාව හිමි වනු ඇති බවට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ බස් සහ දුම්රිය මගීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව තමන් සතු ඕනෑම බැංකු කාඩ්පතක් ස්පර්ශ කර (Tap and Go) ප්‍රවේශ පත්‍ර ගාස්තු ගෙවීමේ පහසුකම සැලසෙනු ඇත. මෙය මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














