අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආපනශාලාවේ සේවය සඳහා යොදවා සිටි රැඳවියෙකු ඊයේ (04) පස්වරුවේ ආරක්ෂක නිලධාරීන්ගේ ඇසට වැලි ගසා පලාගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස පලාගොස් ඇත්තේ කොළඹ 13, මාදම්පිටිය පාරේ පදිංචි මොහමඩ් අක්බාර් මොහමඩ් රිස්වාන් නැමැති රැඳවියෙකි. හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ මොහුට මාළිගාකන්ද අධිකරණය විසින් රුපියල් 5,000ක දඩයක් නියම කර තිබූ අතර එම මුදල ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු බන්ධනාගාරගත කර තිබුණි.
පසුගිය 28 වැනිදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ආ මොහු සුළු වැරදිකරුවෙකු ලෙස සලකා බන්ධනාගාර ආපනශාලාවේ සේවය සඳහා යොදවා සිටියදී මෙලෙස පලාගොස් තිබේ. පලාගිය රැඳවියා සොයා ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර නිලධාරීන්ගේ පාලනයෙන් මිදී ඔහු පලාගිය ආකාරය පිළිබඳව බන්ධනාගාර බලධාරීන් විසින් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් ද පවත්වාගෙන යනු ලබයි.














