කෘත්‍රිම බුද්ධිය හරහා විවිධ ක්ෂේත්‍රවලට විශාල ප්‍රතිලාභ ලැබෙනු ඇති බවට පොරොන්දු වූවත්, එම ප්‍රතිලාභ සීමිත පිරිසකට පමණක් සීමා නොවී සැමට පොදුවේ හිමිවීම සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ප්‍රංශ ජනාධිපතිවරයාගේ AI පිළිබඳ විශේෂ නියෝජිත ඈන් බූවරෝ (Anne Bouverot) මහත්මිය අවධාරණය කරයි.
පසුගිය වසරේ පැරිස් සමුළුවේදී ප්‍රථම වරට අවධානය යොමු වූ AI භාවිතය නිසා සිදුවන බලශක්ති පරිභෝජනය සහ දේශගුණික බලපෑම අද වන විටත් ප්‍රධාන අභියෝගයක්ව පවතී. රටවල් දත්ත මධ්‍යස්ථාන සහ බලශක්ති සැපයුම් දාමයන් වැඩි දියුණු කිරීමට තරඟයක නිරතව සිටීම මෙයට හේතුවයි.
දෙවනුව, රැකියා ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි බලපෑම පිළිබඳව ඇය අදහස් දැක්වූවාය. 2023 වසරේදී වසර දෙකක් ඇතුළත රැකියා අඩක් අහිමි වන බවට කළ අනාවැකි තවමත් සත්‍ය වී නැතත්, රැකියා ස්වභාවයේ විශාල වෙනස්කම් සිදුවිය හැකිය. විශේෂයෙන්ම මිනිස් ශ්‍රමය විස්ථාපනය වන විට මිනිසුන් නැවත පුහුණු කිරීම (Retraining) අත්‍යවශ්‍ය වේ.
තෙවනුව, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට AI මඟින් ලැබෙන ප්‍රතිලාභ “වාසනාවන්ත සුළු පිරිසකට” (Happy few) පමණක් සීමා නොවී සමාජයේ සෑම තරාතිරමකම අයට සාධාරණව බෙදී යා යුතු බව ඇය පෙන්වා දෙයි.
සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් AI නව තර්ජන මතු කරන අතරම, මෘදුකාංග කේතකරණය (Coding) වැනි ක්ෂේත්‍රවලට විශාල පහසුවක් ලබා දෙයි. AI මඟින් නිර්මාණය කරන දෑ පරීක්ෂා කිරීමට සහ ඒවායේ නිරවද්‍යතාව තහවුරු කිරීමට තවදුරටත් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් අවශ්‍ය වන බව ඇය පෙන්වා දෙයි. තාක්ෂණික නවෝත්පාදනවලදී පැරණි රැකියා වෙනුවට නව රැකියා අවස්ථා නිර්මාණය වීම ස්වාභාවික ක්‍රියාවලියක් බව ඇයගේ අදහසයි.














