නවදිල්ලියේ භාරත් මණ්ඩපම් (Bharat Mandapam) හි පැවති කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (AI Impact Summit) අවසන් දිනයේදී සිදු වූ “shirtless” හෙවත් කමිස ඉවත් කර සිදු කළ විරෝධතාවයට සම්බන්ධ පස්වැනි සැකකරු අද (23) අත්අඩංගුවට ගෙන තිබේ. දිල්ලි පොලිසිය විසින් මධ්‍ය ප්‍රදේශ්හි ග්වාලියර් (Gwalior) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ජිතේන්ද්‍ර යාදව් (Jitendra Yadav) නමැති ඉන්දීය යොවුන් කොංග්‍රස් (IYC) ක්‍රියාකාරිකයෙකු බව හඳුනාගෙන ඇත.
පසුගිය සිකුරාදා (20) මෙම සමුළුවේ ප්‍රදර්ශන ශාලාවක් තුළට ඇතුළු වූ පිරිසක් ඉන්දීය රජයට සහ ඉන්දු-ඇමරිකානු වෙළඳ ගිවිසුමට එරෙහිව සිය කමිස ඉවත් කර විරෝධතාවයේ නිරත වූහ. ඔවුන් හැඳ සිටි ටී-ෂර්ට්වල “PM is compromised”, “India-US Trade Deal” සහ “Epstein Files” වැනි සටහන් මුද්‍රණය කර තිබූ බව වාර්තා වේ.
මීට පෙර ක්‍රිෂ්ණා හරි, කුන්දන් යාදව්, අජේ කුමාර් සහ නරසිංහ යාදව් යන ක්‍රියාකාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් මේ වන විට දින 5ක පොලිස් අත්අඩංගුවේ පසුවේ. විරෝධතාකරුවන් QR කේත ලබාගෙන මාර්ගගතව ලියාපදිංචි වී සමුළුවට ඇතුළු වී ඇති අතර මුලින් කළු කුඩ භාවිත කර විරෝධය දැක්වීමට සැලසුම් කර තිබුණද පසුව එය වෙනස් කර ටී-ෂර්ට් ඇතුළතින් ඇඳගෙන පැමිණ තිබේ.
භාරතීය ජනතා පක්ෂය (BJP) පවසන්නේ මෙය ජාත්‍යන්තර වේදිකාවක ඉන්දියාවේ ප්‍රතිරූපයට හානි කරන ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි. එහෙත් යොවුන් කොංග්‍රසය පවසන්නේ මෙය ජාතික අවශ්‍යතා වෙනුවෙන් කළ සාමකාමී විරෝධතාවයක් බවයි. මෙම විරෝධතාවය පිටුපස පවතින මූල්‍ය අනුග්‍රහය සහ කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව දිල්ලි පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.














