මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය සහ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එයාර් ඇරේබියා (Air Arabia) ගුවන් සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) මෙන්ම තවත් රටවල් කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මාර්තු 03 වැනිදා නිකුත් කරන ලද නිවේදනයකට අනුව, එමීර් රාජ්‍යය වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් හෙට (මාර්තු 04) පස්වරු 3:00 දක්වා අත්හිටුවා ඇති අතර ලෙබනනය, ජෝර්දානය, සිරියාව සහ ඉරාකය වෙත සිදුකරන පියාසර කිරීම් එළඹෙන මාර්තු 05 වැනිදා දක්වා නවතා දැමීමට තීරණය කර ඇත.
ආරක්ෂක අනුමැතිය සහ මෙහෙයුම් හැකියාව මත සීමිත ගුවන් වාර කිහිපයක් පමණක් අදාළ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක වීමට ඉඩ පවතින බවත්, එවැනි ගුවන් ගමන්වල මගීන් වෙත සෘජුවම දැනුම් දෙන බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. ගුවන් සමාගම විසින් පෞද්ගලිකව සම්බන්ධ කරගන්නා මගීන් හැර අනෙකුත් සියලුම මගීන්ට ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් වළකින ලෙසත්, තම ගුවන් ගමනට අදාළ නවතම තොරතුරු නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කරන ලෙසත් උපදෙස් දී තිබේ.














