ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලාගාඩියා (LaGuardia) ගුවන් තොටුපළේදී ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ එයාර් කැනඩා (Air Canada) ගුවන් නියමුවන් දෙදෙනා ඇන්ටොයින් ෆොරස්ට් (Antoine Forest) සහ මැකෙන්සි ගන්තර් (Mackenzie Gunther) ලෙස හඳුනාගෙන තිබේ. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, 30 හැවිරිදි ෆොරස්ට් ක්විබෙක් වැසියෙකු වන අතර, මැකෙන්සි ගන්තර් 2023 වසරේදී ටොරොන්ටෝහි සෙනෙකා පොලිටෙක්නික් (Seneca Polytechnic) ආයතනයෙන් උපාධිය ලබාගත් අයෙකි.
පසුගිය ඉරිදා දින දේශීය වේලාවෙන් රාත්‍රී 11:40 ට පමණ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, අනතුර හේතුවෙන් සඳුදා පස්වරුව වන තෙක් ගුවන් තොටුපළේ කටයුතු ද අත්හිටුවීමට සිදු විය. “මොවුන් දෙදෙනාම සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ තරුණයින් දෙදෙනෙක්. ඔවුන්ගේ අහිමි වීම සැබවින්ම ඛේදවාචකයක්,” යැයි ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) ප්‍රධානී බ්‍රැන් බෙඩ්ෆෝර්ඩ් (Bran Bedford) ප්‍රකාශ කළේය.
මෙම අනතුර සිදුවීමට බලපෑ තාක්ෂණික දෝෂ හෝ සන්නිවේදන ගැටලු පිළිබඳව ඇමෙරිකානු ගුවන් සේවා බලධාරීන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. විශේෂයෙන්ම ධාවන පථය මතදී ගිනි නිවන රථය සහ ගුවන් යානය එකිනෙක ගැටුණේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.














