මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අතරමංව සිටි ඉන්දීය ජාතිකයින් 149 දෙනෙකු රැගත් පළමු විශේෂ ගුවන් යානය අද (මාර්තු 03) සාර්ථකව නවදිල්ලිය වෙත ළඟා වී තිබේ. එයාර් ඉන්ඩියා (Air India) සමාගමට අයත් AI916D දරණ මෙම ගුවන් යානය මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු සමඟ මෙලෙස පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඇමෙරිකා-ඊශ්‍රායල හවුල්කාරීත්වය අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි ප්‍රධාන ගුවන් තොටුපළවල් හරහා සිදුවන ගුවන් ගමන් සිය ගණනක් අවලංගු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ තම පුරවැසියන් මුදාගැනීම සඳහා ඉන්දියාව ආරම්භ කළ විශේෂ මෙහෙයුමේ පළමු පියවර මෙය වේ.
ඩුබායිහි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇත. මැදපෙරදිග කලාපයේ ගුවන් අවකාශයන් තාවකාලිකව විවෘත වන අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් එමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා හරහා මගීන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කෙරෙමින් පවතී.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මැදපෙරදිග වෙසෙන ලාංකිකයන් සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් ඒකකයක් (Emergency Response Unit) ස්ථාපිත කර තිබේ. පවුල්වල සාමාජිකයන්ට තොරතුරු ලබාගැනීම සඳහා +94 11 744 5641 හෝ 1989 (විදේශ සේවා නියුක්ති කාර්යාංශය) යන අංක අමතන ලෙස රජය දැනුම් දී ඇත.















