ග්‍රීක බැඳුම්කර නඩුවට අදාළව කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය පරිදි, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ගෙවිය යුතු රුපියල් කෝටි 184කට අධික මුදල ගෙවා ඇත්දැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසා තිබේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් ලිපියක් යොමු කරමින් මෙම විමසීම සිදු කර ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් 10 වනදා කොළඹ මහාධිකරණය නියම කළ පරිදි, මෙම ගනුදෙනුවෙන් රජයට සිදු වූ අලාභය වන රුපියල් කෝටි 184ක මුදල මාස තුනක කාලයක් ඇතුළත මහ බැංකුවට ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවා තිබුණි. අදාළ මුදල මේ වන තෙක් ගෙවා නොමැති නම්, පනතේ විධිවිධානවලට අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී, එම බැඳුම්කර මිලදී ගැනීම හරහා රජයට විශාල පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. අධිකරණ නියෝගය අනුව ලබා දී තිබූ කාලසීමාව මේ වන විට අවසන් වෙමින් පවතින බැවින් අල්ලස් කොමිසම මෙම පියවර ගෙන තිබේ.














