හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩු යළි පැවරීම සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් හේතුවෙන් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයකට පත් විය. සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අතර මෙම වාග් සංග්‍රාමය ඇති විය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ප්‍රශ්න වටයේදී අජිත් පී. පෙරේරා මහතා විමසා සිටියේ, ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ නඩුව යළි පවරන්නේ ද යන්නයි. ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති මුක්තිය (Immunity) මත එම නඩුව ඉල්ලා අස්කර ගත් බවත්, දැන් ඔහු එම ධුරයේ නොමැති බැවින් නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති බාධාව කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
අජිත් පී. පෙරේරා මහතා මෙහිදී සෘජුවම අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ “ඇයි ගෝඨාභයට බයද? එයා එක්ක ඩීල් එකක් තියෙනවාද?” යනුවෙනි. මෙවැනි දේශපාලනික හේතු මත ඉල්ලා අස්කරගත් නඩු 42ක් පමණ ඇති බවත් ඒවා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි ඔහු තදින් විමසා සිටියේය.
මීට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මුල් ප්‍රශ්නයට අදාළ නොවන අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි බවයි. කෙසේ වෙතත්, උණුසුම් වූ සංවාදය හමුවේ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය:
ගෝඨාභය රාජපක්ෂට බයේ එදා ඇඳන් යට හිටපු කට්ටිය අද චණ්ඩීන් වගේ කෑගහනවා.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකාට දෝෂාරෝපණය කර ගැනීම නිසා සභාව තුළ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් නිර්මාණය විය. නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන බවත්, නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














