අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් සිදු කරන ලදැයි පැවසුණු අසභ්‍ය අභිනයක් හේතුවෙන් තමන්ගේ වරප්‍රසාද කඩ වූ බවට ඉදිරිපත් කර තිබූ වරප්‍රසාද ප්‍රශ්නය ඉල්ලා අස්කර ගැනීමට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පියවර ගත්තේය.
සභාව අමතමින් අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ සිය පැරණි මිතුරෙකු වන අමාත්‍යවරයාට සමාව දීමට තීරණය කළ බවත්, සමාව දීම දේව ගතියක් ලෙස තමන්ගේ මවුපියන් උගන්වා ඇති බවත්ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් තුළ අහිතක් නොමැති බවත්, මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරියට ගෙන යාමෙන් අමාත්‍යවරයාට පෞද්ගලිකව අගතියක් සිදුවිය හැකි බැවින් එය අත්හැර දැමීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














