ලක්විජය බලාගාරය සඳහා බාල ගණයේ ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 3,000කට අධික දැවැන්ත මූල්‍ය අලාභයකට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි. විදුලිබල මණ්ඩලය විසින් බලශක්ති අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කරගනිමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ බාල ගල්අඟුරු නැව්ගත කිරීම් හතරක් හේතුවෙන් සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 3,026ක් වුවද, සැපයුම්කරුගෙන් අයකර ගත හැකි උපරිම දඩ මුදල රුපියල් මිලියන 1,037කට පමණක් සීමා වී ඇති බවයි. මේ අනුව දඩ මුදල් මගින් පමණක් පියවා ගත නොහැකි රුපියල් බිලියන දෙකකට ආසන්න අතිරේක පාඩුවක් රටට සිදුව ඇති බව ඔහු අවධාරණය කළේය.
මෙම බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ ටර්බයින් තල, වායු පූර්ව තාපකය සහ බොයිලේරු නල වැනි අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර කොටස්වලට දැඩි තාක්ෂණික හානි සිදුව ඇති අතර ඒවා අලුත්වැඩියා කිරීම සඳහා පමණක් රුපියල් මිලියන 230කට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇත. මෙම අලුත්වැඩියා කටයුතු සඳහා බලාගාරය දින 21ක් වැනි දීර්ඝ කාලයක් අක්‍රීය කර තැබීමට සිදුවන බැවින් එය මෙරට විදුලි උත්පාදනයට සෘජු බලපෑමක් එල්ල කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. අදාළ සැපයුම්කරුගේ ගල්අඟුරු තත්ත්ව පරීක්ෂණ අඛණ්ඩව දෙවරක් අසාර්ථක වී ඇති බැවින් ඔවුන් සමඟ ඇති ගිවිසුම වහාම අවලංගු කිරීමට අවශ්‍ය නීතිමය සාක්ෂි සපිරි ඇති බව අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම ප්‍රශ්නගත සමාගමෙන්ම තවත් ගල්අඟුරු නැව් 20ක් පමණ දිවයිනට පැමිණීමට නියමිතව ඇති පසුබිමක රටේ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම මැදිහත් විය යුතු බව ඔහු රජයට දැනුම් දුන්නේය.














