රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ලබාදී ඇති තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා පත්කළ නිලධාරි කමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව කැඳවා තිබුණේ අදාළ ආයතන කාලීන අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් යාවත්කාලීන කිරීමේදී සහ ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැනනැඟී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටය. එකම හෝ සමාන කාර්යයන් ඉටුකරන ආයතන කිහිපයක් පැවතීම, පැවරුණු බලතල ප්‍රමාණවත් නොවීම සහ පෞද්ගලික අංශය මගින් ඇතැම් කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීම වැනි කරුණු පදනම් කරගනිමින් මෙම ආයතන 124 සම්බන්ධයෙන් කාණ්ඩ 09ක් යටතේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මීට පෙර තීරණය කර තිබිණි.
අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීමේ වර්තමාන තත්ත්වය සහ පවතින ප්‍රායෝගික දුෂ්කරතා නිරාකරණය කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර එම ප්‍රගතිය කාර්තුමය වශයෙන් වාර්තා කිරීමේ වගකීම ද මෙම කමිටුව වෙත පවරා ඇත. මෙම අවස්ථාවට කර්මාන්ත, කෘෂිකර්ම, රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශවල ලේකම්වරුන්, ජාතික අයවැය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම වැඩපිළිවෙළ හරහා රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් විධිමත් කිරීම සහ අනවශ්‍ය වියදම් පාලනය කරමින් මහජනතාවට උපරිම සේවාවක් සැලසීම රජයේ අපේක්ෂාව වී තිබේ.














