අකුරෙගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථ ගාලක් තුළදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතුවලින් 80%ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. අද දින පැවති සතිපතා කැබිනට් මාධ්‍ය හමුව අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මෙම තොරතුරු තහවුරු කළේය.
2026 පෙබරවාරි 13 වන දින වාර්තා වූ මෙම ද්විත්ව ඝාතනයෙන් දින තුනක් ඇතුළත, ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙකු දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතින අතර අනෙක් සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් මේ වන විටත් මෙහෙයුම් දියත් කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පවසා සිටියේය. විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.














