අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම ඝාතනයෙන් පසු සැකකරුවන් පලාගිය ආකාරය පිළිබඳ තීරණාත්මක තොරතුරු රැසක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබේ. සැකකරු ප්‍රකාශ කර ඇති පරිදි ඔහු ඝාතනයෙන් පසු කොට්ටාව දක්වා පැමිණ එතැනින් කොළඹ කොටුවටත් ඉන් අනතුරුව දඹුල්ල දක්වාත් ගමන් කර ඇත. දඹුල්ලේ සිට ඔහු මොණරාගල දක්වා රැගෙන ගොස් ඇත්තේ කරන්දෙණියේ සුද්දා නමැත්තා විසින් ඔහු වෙනුවෙන්ම සූදානම් කර තිබූ විශේෂ බස් රථයකිනි.
මෙම තොරතුරු මත පදනම්ව සිදු කළ විමර්ශනවලදී මොරටුව – කොළඹ මාර්ගයේ ධාවනය වන අදාළ බස් රථය සමඟ එහි රියදුරු සහ කොන්දොස්තරවරයා ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. එහිදී හෙළි වූ තවත් විශේෂ කරුණක් වන්නේ අදාළ ඝාතනය සිදුවීමට දින තුනකට පෙර කරන්දෙණියේ සුද්දා විසින් රුපියල් ලක්ෂ 65ක මුදලකට මෙම බස් රථය රියදුරුගේ නමට මිලදී ගෙන ඇති බවයි. කරන්දෙණියේ සුද්දාගේ සමීපතමයෙකු වන මෙම රියදුරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව ද හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














