තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. පසුගිය 13 වැනිදා පස්වරු 5.00ට පමණ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාල තුළදී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණි.
මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් විමර්ශන මෙහෙයවයි. සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ සිදු කළ පරීක්ෂණවලින් පසුව මෙම සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වේ. මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කරන්දෙණිය සුද්දා” නමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු වූවක් බවට ද විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි.














