තලංගම, අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණ කරගෙන ඇත්තේ, මෙම අපරාධයෙන් පසුව සැකකරුවන් සිය ජංගම දුරකථනවල තිබූ දත්ත (Data) මකා දමා ඇති බවයි.
පසුගිය සිකුරාදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 12ක් විමර්ශන ආරම්භ කළ අතර, එහිදී ඝාතනයට භාවිත කළ ගිනිඅවි ප්රවාහනය කළ සහෝදරයන් දෙදෙනෙකු කොට්ටාව ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ඊයේ (17) පස්වරුවේ පොල්ගස්ඕවිට ප්රදේශයේදී “ඩිලා” නමැති ප්රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට හැකි විය.
සැකකරුවන් සිය සන්නිවේදන තොරතුරු සහ සැලසුම් වසන් කිරීම සඳහා දුරකථන දත්ත මකා දමා තිබුණ ද, ඒවා විශේෂ තාක්ෂණික පරීක්ෂණ (Forensic recovery) මඟින් යළි ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ. මෙම ඝාතනය සඳහා උපදෙස් ලබා දුන් පුද්ගලයන් සහ මීට සම්බන්ධ වෙඩික්කරුවන් හඳුනා ගැනීමට මෙම දත්ත ඉතා වැදගත් වනු ඇත.
අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනාට ගිනිඅවි ප්රවාහනය කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ “ඩිලා” නමැති සැකකරු බවත්, ඔහු ද එම ප්රවාහන කටයුත්තට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් තහවුරු වී ඇත.














