බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු වන ගෝනපීනුවලගේ සුනිල් රංජිත් හෙවත් ‘මහසොහොන් කළු’ නමැත්තා මීට පෙර මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. බද්දේගම පදිංචි 46 හැවිරිදි මෙම සැකකරු හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර, ඔහු 2009 වසරේදී නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වූවෙකි. මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මොහු ඉදිරියේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් පරීක්ෂණවලට අනුව, අකුරේගොඩ ඝාතනයට පෙර දින සැකකරු කොටිකාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකදී ගිනිඅවි පරීක්ෂා කර ඇති අතර, එම නිවස ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පොලිසිය සූදානම් වේ. අනතුරුව ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ ඇති අතර, එහිදී ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන ‘කරන්දෙණියේ සුද්දා’ගේ සමීපතමයෙකු මාර්ගයෙන් ඔහුට අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂයක මුදලක් ලැබී ඇති බව හෙළි වී තිබේ. කරන්දෙණියේ සුද්දා සහ මහසොහොන් කළු අතර දීර්ඝකාලීන සමීප සබඳතාවක් පවතින අතර, මීට පෙර අපරාධයකදී සැකකරුට ඇප ලබාගැනීම සඳහා අවශ්‍ය මුදල් ගෙවා ඇත්තේ ද කරන්දෙණියේ සුද්දා විසිනි.
ඝාතනය සිදුවූ දින ද මෙම දෙදෙනා අතර කිහිප වතාවක් දුරකථන සංවාද සිදුව ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් තහවුරු වී ඇත. මෙම සැකකරු කුලී ඝාතකයෙකු ලෙස ක්‍රියා කරමින් මෙතෙක් සිදුකර ඇති සෙසු අපරාධ පිළිබඳව ද බුද්ධි අංශ විසින් කරුණු රැස් කරමින් පවතී. හිටපු හමුදා සෙබළෙකු ලෙස ඔහු ලබා ඇති අවි පුහුණුව මෙවැනි දරුණු අපරාධ සඳහා භාවිතා කර ඇති බව විමර්ශන නිලධාරීන්ගේ නිගමනයයි.














