හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සිය X (ට්විටර්) ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් සිය කනස්සල්ල පළ කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ අද දිනය ශ්‍රී ලංකා යුද හමුදාවට සහ බුද්ධි අංශයට ඉතා කණගාටුදායක දිනයක් බවයි. එල්ටීටීඊ බුද්ධි ජාලය බිඳ දැමීම සහ ‘කේ.පී’ වැනි නායකයින් අත්අඩංගුවට ගැනීමට සෘජුව දායක වූ නිලධාරියෙකු මෙලෙස දේශපාලන වාද-විවාද මැදට ඇද දැමීම අවාසනාවන්ත තත්ත්වයක් බව ඔහු පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වෘත්තීයමය සහ සාක්ෂි මත පදනම් වූ ක්‍රියාවලියක් විය යුතු වුවත්, වර්තමානයේ එය සංකීර්ණ පරීක්ෂණයක් වෙනුවට ‘මහජන දර්ශනයක්’ හෝ නාට්‍යමය ක්‍රියාවලියක් බවට පත්වෙමින් ඇති බවට සබ්රි මහතා චෝදනා කරයි. දේශපාලන වාසි සඳහා ජාතික ආරක්ෂාව පාවිච්චි කිරීම රටේ විශ්වාසනීයත්වයට හානිදායක බවත්, සත්‍යය සහ යුක්තිය සොයා යා යුත්තේ නීතියට සහ ආයතනික අඛණ්ඩතාවයට ගරු කරමින් මිස ජනතාව මංමුළා කරන ක්‍රියාමාර්ග හරහා නොවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














