බාලවයස්කාර දැරියකගේ පියයුරු අල්ලා බෝක්කුවක් යටට ඇදගෙන යාම ස්ත්‍රී දූෂණයට තැත් කිරීමක් නොවන බවට 2025 මාර්තු මාසයේදී අලහබාද් මහාධිකරණය ලබා දී තිබූ මතභේදාත්මක තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (17) බලශුන්‍ය කරන ලදී. අපරාධ නීති මූලධර්ම වැරදි ලෙස භාවිත කරමින් ලබා දුන් මෙම තීන්දුව දැඩි දෝෂ සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී අවධාරණය කළේය.
අගවිනිසුරු සූර්ය කාන්ත් මහතා ඇතුළු විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ, “සූදානම් වීම” (Preparation) සහ “උත්සාහ කිරීම” (Attempt) අතර වෙනස මහාධිකරණය වැරදි ලෙස අර්ථ දක්වා ඇති බවයි. ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ චේතනාව ක්‍රියාවට නැංවීම ආරම්භ කළ මොහොතේ සිටම එය “තැත් කිරීමක්” ලෙස සැලකෙන බවත්, දැරිය මෝටර් සයිකලයකින් පැහැරගෙන ගොස් බෝක්කුවක් යටට ඇදගෙන ගොස් හිංසනයට ලක් කිරීම මඟින් විත්තිකරු සූදානම් වීමේ මට්ටම ඉක්මවා ගොස් ඇති බවත් අධිකරණය තීන්දු කළේය.
මීට අමතරව, ලිංගික අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීමේදී විනිසුරුවරුන් තුළ තිබිය යුතු සංවේදීතාව සහ මානුෂීය ගුණය වර්ධනය කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය මතු කළේය. ඒ අනුව, ඉන්දියාව පුරා සිටින විනිසුරුවරුන් සඳහා විධිමත් මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස භෝපාල්හි ජාතික අධිකරණ ඇකඩමියට නියෝග කර තිබේ.
මෙම තීන්දුවත් සමඟ මහාධිකරණය විසින් ලිහිල් කර තිබූ චෝදනා නැවතත් ස්ත්‍රී දූෂණයට තැත් කිරීම (IPC 376/511) සහ POCSO පනත යටතට පත් කිරීමට නියෝග කෙරුණි. මෙය කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී විනිසුරුවරුන් වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බවට ලබා දුන් ප්‍රබල පණිවිඩයකි.













