හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව මෙරට නීතිය තවමත් වල්වැදී නොමැති බවට සමාජයට ලබාදුන් ප්‍රබල පණිවිඩයක් බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම තීන්දුව මහජනතාව අධිකරණයෙන් බලාපොරොත්තු වූ සාධාරණ තීන්දුවක් වන අතර ම්ලේච්ඡත්වය වපුරන ඕනෑම පිරිසකට මෙය දැඩි අනතුරු ඇඟවීමක් වනු ඇති බවයි. අමරකීර්ති අතුකෝරළ මහතා ඉතා අහිංසක මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවත්, මෙම ඝාතනයට පෙළඹුණු පිරිස් මෙන්ම එයට අනුබල දුන් සියලු දෙනාම මෙම ම්ලේච්ඡත්වයේ වගකීම භාරගත යුතු බවත් හිටපු ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ද සිය දැඩි විවේචනය එල්ල කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, වර්තමානය වන විට පාර්ලිමේන්තුව විහිළු සපයන ආයතනයක් බවට පත්වී ඇති බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම කථානායකවරයාගේ කාර්යභාරය ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරින් විහිළුවක් බවට පත්ව ඇති බවත්, පසුගිය වසර එකහමාරක කාලය තුළ මහජනතාව බලාපොරොත්තු වූ කිසිදු යහපත් වෙනසක් සිදුවී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් විඳි වේදනාව අද වන විට දඬුවම් නියම වූ පුද්ගලයන්ගේ දෙමාපියන්ට ද උරුම වී ඇති බවත්, ම්ලේච්ඡ ක්‍රියාවන්හි නිරත වන දරුවන් නිසා ඔවුන්ගේ ඥාතීන්ට ද අවසානයේ කඳුළු සැලීමට සිදුවන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














