ඇඹිලිපිටිය – නෝනගම ප්‍රධාන මාර්ගයේ හැඩවින්න ප්‍රදේශයේදී අද (29) දහවල් සිදුවූ රිය අනතුරකින් ලොරි රථයක රියදුරෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ ලොරි රථයක්, එම අවස්ථාවේදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් පිරිසක් ගමන් කර ඇති නමුත් වාසනාවකට මෙන් ඔවුන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුව නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් ගැටීමේ ප්‍රබලතාවය හේතුවෙන් ලොරි රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර තුවාල ලැබූ ලොරි රථ රියදුරු ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව වහාම ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර අතුරු මාර්ගවල සිට ප්‍රධාන මාර්ගවලට රථවාහන ඇතුළු කිරීමේදී රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතු බව පොලිසිය නැවතත් අවධාරණය කර සිටියි. අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද සුළු වේලාවක් බාධා එල්ල විය.













