අම්පාර දිස්ත්‍රික්කයේ නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව පිහිටි සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය “වනස්පති” ජාතික වැඩසටහන යටතේ රක්ෂිතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. හෙක්ටයාර 2,695 ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම වනාන්තරය වියළි කලාපීය දේශගුණයට ඔරොත්තු දෙන බුරුත, මිල්ල, පළු, වීර සහ දිවුල් වැනි වටිනා දැවමය මෙන්ම ඖෂධීය ශාකවලින් ගහණ පාරිසරික පද්ධතියකි. එහි භූමියෙන් 30% කට වඩා වැඩි ප්‍රමාණයක් ඝන වනාන්තර ලෙස පවතින බැවින් පාරිසරික සමතුලිතතාව සහ ජල පෝෂණය සඳහා එය සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි.
විශේෂයෙන්ම මෙම වනාන්තරය ලාහුගල සහ කුමන ජාතික වනෝද්‍යාන අතර පිහිටි වැදගත් “වනජීවී මංතීරුවක්” ලෙස ක්‍රියා කරන අතර, එමඟින් වන අලි ඇතුළු සතුන්ගේ නිදහස් සංචරණයට අවශ්‍ය වටපිටාව සකසා තිබේ. මෙය ප්‍රදේශයේ පවතින අලි-මිනිස් ගැටුම් අවම කිරීමට ද මහඟු පිටුවහලක් වනු ඇත. මීට අමතරව ප්‍රදේශයේ වැව් 10 කට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය ද මෙම වනාන්තරය වන අතර, එමඟින් වී වගාව මත යැපෙන දහස් ගණනක් ගොවි පවුල්වල ජීවනෝපාය සුරක්ෂිත වේ.
මෙම වනාන්තරය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හරහා අනවසර මිනිස් ක්‍රියාකාරකම් සීමා වන අතර අධික උෂ්ණත්වය පවතින කාලසීමාවලදී පවා අවට ප්‍රදේශයේ සිසිලස රඳවා ගැනීමට මෙම වන වැස්ම මහෝපකාරී වේ. ජෛව විවිධත්වය රැකගැනීමටත්, ප්‍රදේශයේ කෘෂිකාර්මික පැවැත්ම තහවුරු කිරීමටත් ගත් මෙම තීරණය ඉතා කාලෝචිත පියවරක් ලෙස සැලකිය හැකිය.















