මෙරට තල් ආශ්රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙදපළෙහි ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩාවේ වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
මත්තල තල් සංවර්ධන මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණය සඳහා පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගියේය. එහිදී තල් ආශ්‍රිතව නිෂ්පාදනය කර තිබු උපකරණ මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය ද ප්‍රදර්ශනය කරනු ලැබීය.
දැනට අප රටේ තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත. මේ නිසා තල් ආශ්රිත නිෂ්පාදන ජනප්‍රිය කරවීම සඳහා මෙන්ම ඉන් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන්ට විශේෂ පුහුණුවක් ලබා දීම තල් සංවර්ධන මණ්ඩලය විසින් අරඹා තිබේ.
පසුගිය යුධ සමයේ උතුරේ තල් ගස්වලින් සියයට 30ක් පමණ විනාශ වූ අතර මේ වනවිට එම ප්‍රමාණයම නැවත වගා කර ඇත. පසුගිය වසර 04 තුළ අලුතින් තල් ගස් ලක්ෂ 02ක් රෝපණය කිරීමට පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
2023 වසරේ ඔක්තෝබර් මාසය වනවිට තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් මෙරටට ලැබී ඇති ආදායම රුපියල් මිලියන 78කි. ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ තල් හකුරු, පැණි, තල් රා සහ තල් අරක්කු සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. කිසිදු රසායනික පොහොර හෝ වසවිසෙන් තොරව වැඩෙන තල් ගසින් සකස් කර ගත හැකි ආහාර අලෙවි ස්ථාන රැසක් තල් සංවර්ධන මණ්ඩලයේ දායකත්වය යටතේ මේ වනවිට පවත්වාගෙන යයි.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට තල් ආශ්රිත ආහාර නිෂ්පාදන කර්මාන්තය මෙන්ම ගෘහස්ථ උපකරණ නිෂ්පාදන කර්මාන්තය සඳහා ඊට උනන්දුවන්නට වැඩිපුර පුහුණුවක් ලබා දීම හා එම පිරිස් මෙම කර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා වැඩ සටහන් සකස් කරන්නැයි උපදෙස් දුන්නේය.
තල් සංවර්ධන මණ්ඩලය යටතේ පවත්වන පුහුණු වැඩ සටහන් සඳහා පුහුණුලාභීන් 30 දෙනෙකුට බඳවා ගැනීමේ ලිපි ද අමාත්‍යවරයා අතින් පිරිනැමිණි.