ලෝකය පුරා මිලියන 1.5කට අධික සේවක පිරිසක් සේවය කරන ඇමේසන් (Amazon) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසී (Andy Jassy), තම ප්‍රධානියාගේ විශ්වාසය සහ ගෞරවය දිනා ගත හැකි ආකාරය පිළිබඳව අපූරු හෙළිදරව්වක් කර තිබේ. බොහෝ දෙනා සිතන්නේ තම ප්‍රධානියා පවසන සෑම දෙයකටම එකඟ වීමෙන් හෝ ඔවුන්ව සතුටු කිරීමෙන් (Flattery) විශ්වාසය දිනා ගත හැකි බව වුවද, ඇන්ඩි ජැසී පවසන්නේ සැබෑ විශ්වාසය ගොඩනැගෙන්නේ අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට අභියෝග කිරීමෙන් බවයි.
ඔහුට අනුව සේවකයෙකු සතුව තිබිය යුතු ප්‍රධාන ගුණාංග තුන වන්නේ අවංකභාවය (Honest), සත්‍යවාදී බව (Authentic) සහ සෘජු බව (Straightforward) යන්නයි. යම් කාර්යයක් නිසි ලෙස සිදු නොවන්නේ නම් හෝ ව්‍යාපාරයේ පාරිභෝගිකයන්ට අගතියක් වන යමක් සිදුවන්නේ නම්, ඒ පිළිබඳව බියක් නොමැතිව කරුණු දැක්විය යුතු බව ඔහු අවධාරණය කරයි. එමෙන්ම තමන් අතින් වරදක් වූ විට එය විවෘතව පිළිගැනීමට (Ownership) ඇති හැකියාව සේවකයෙකුගේ විශ්වාසනීයත්වය මැන බැලීමේ ප්‍රධාන සාධකයක් බව ඔහු පෙන්වා දෙයි.
තම අදහස් දැක්වීමේදී සැමවිටම සාක්ෂි සහ දත්ත (Data) සහිතව කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බව ද ඔහු සඳහන් කරයි. ඇන්ඩි ජැසී සිය අතීත අත්දැකීමක් සිහිපත් කරමින් කියා සිටියේ, වරක් ජෙෆ් බෙසෝස් (Jeff Bezos) විසින් ඔහුගේ ඉදිරිපත් කිරීමක වැරදි පෙන්වා දුන් අවස්ථාවේදී, එය නිහතමානීව පිළිගෙන තමා විවේචනයට ලක් කර ගැනීම (Self-critical) තමාට ඉහළ තනතුරු කරා යාමට පදනම වූ බවයි. සැබෑ නායකයෙකු යනු තමන්ට එකඟ වන පිරිසක් නොව, වැරදි පෙන්වා දෙමින් ආයතනය නිවැරදි මාවතට ගෙන යාමට උදවු වන පිරිසක් බව ඇමේසන් ප්‍රධානියාගේ මතයයි.














