පසුගිය රජයන් සමයේ විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ “ඉන්ධන බදු අඩු කිරීමේ” යෝජනාව වර්තමානයේ ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රායෝගික බාධා පිළිබඳව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද දෙරණ ‘360’ වැඩසටහනේදී කරුණු අනාවරණය කළේය. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යන විට රජයේ බදු ප්‍රමාණය අඩු කරමින් ජනතාවට සහන සැලසීම පිළිබඳ එදා කළ ප්‍රකාශයන් අවස්ථාවාදී දේශපාලන ප්‍රකාශ නොවන බවත්, ඒවා ක්‍රියාත්මක කිරීමට වත්මන් ආර්ථික වටපිටාව හරස් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් රජය බලයට පත්වන විට ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති දැවැන්ත ණය බර මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා බැංකුවට රුපියල් බිලියන 99.9ක් සහ මහජන බැංකුවට රුපියල් බිලියන 32ක් වශයෙන් ගෙවීමට මහා භාණ්ඩාගාරයට සිදුව ඇති බව ඔහු අනාවරණය කළේය. වර්තමානයේ පවතින බදු මුදල්, මෙම ණය පියවා ගැනීම සඳහා පනවා ඇති නිෂ්පාදන බදු ස්වරූපයක් ගන්නා බැවින් ඒවා එකවර ඉවත් කිරීම රජයේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බව ඔහු පැහැදිලි කළේය.
මීට අමතරව, ලෝකයේ බොහෝ රටවල් තෙල් මිල පාලනය කිරීමට භාවිත කරන ‘මිල ස්ථායීකරණ අරමුදල්’ ශ්‍රී ලංකාවේ ද මීට පෙර පැවති නමුත් පසුගිය රජයන් ඒවා අවභාවිත කර ඇති බව අමාත්‍යවරයා චෝදනා කළේය. ඉදිරියේදී එවැනි අරමුදලක් නිසි ලෙස ස්ථාපනය කර මිල උච්චාවචනයන් පාලනය කිරීමට රජය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. මැතිවරණ පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, පවතින ණය බර කළමනාකරණය කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමට සිදුවීම නිසා යම් ප්‍රමාදයන් සිදු වුවද, සමස්ත ආර්ථික වටපිටාව තුළ ජනතාවට සහන සැලසීමේ ස්ථාවරයේ රජය තවමත් පසුවන බවයි.














