සිංහරාජ අඩවි වන රක්ෂිතයට අයත් ලංකා බේරිය වතුයායේදී ගෝනෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තවත් පොලිස් කොස්තාපල්වරයෙකු නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39 ක් වන, ගොඩකවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පසුගිය ජනවාරි 17 වනදා සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ තවත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. මෙම සිද්ධියෙන් පසු අදාළ නිලධාරීන් පිරිස විවිධ පොලිස් ස්ථාන වෙත මාරු කර යවා තිබූ අතර, විමර්ශන මගින් අනාවරණය වූ තොරතුරු මත ඊයේ (12) මෙම නව සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















