දේශගුණික විපර්යාස හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ මුහුදු අයිස් වාර්තාගත ලෙස දියවීම නිසා එම්පරර් පෙන්ගුවින් (Emperor Penguin) පැටවුන් දහස් ගණනින් මුහුදට වැටී දියේ ගිලී මියයෑමේ පුවතක් වාර්තා වේ. මෙම දරුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් එම්පරර් පෙන්ගුවින් විශේෂය “වඳවී යාමේ තර්ජනයට ලක් වූ” (Endangered) විශේෂයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
එම්පරර් පෙන්ගුවින් සතුන් සිය පැටවුන් බිහි කිරීමට සහ වැඩීමට වසරකට මාස නවයක් පමණ වෙරළට සම්බන්ධ වූ ස්ථාවර අයිස් තට්ටු (Fast ice) මත රඳා පවතී. පැටවුන්ට ජලයට ඔරොත්තු දෙන පිහාටු වැඩීමට පෙර මෙලෙස අයිස් තට්ටු බිඳී යාම නිසා ඔවුන් මුහුදට වැටී මියයන අතර, දිවි ගලවා ගන්නා පැටවුන් ද දැඩි සීතලට නිරාවරණය වීමෙන් මියයන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. 2022 වසරේදී පමණක් බෙලින්ෂවුසන් (Bellingshausen) මුහුදු කලාපයේ පෙන්ගුවින් ජනපද පහකින් හතරක්ම මෙලෙස විනාශ වී ඇත.
IUCN ඇස්තමේන්තුවලට අනුව 2080 වසර වන විට මෙම පෙන්ගුවින් ගහනයෙන් අඩකට වඩා විනාශ විය හැකිය. මීට අමතරව, ආහාර හිඟකම හේතුවෙන් ඇන්ටාක්ටික් ලොම් සීල් (Antarctic fur seal) සතුන්ගේ ගහනය ද වසර 2000 සිට අඩකින් පමණ අඩු වී ඇති අතර ඔවුන් ද වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ව ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙම තත්ත්වය ගෝලීය උණුසුම ඉහළ යාමේ භයානක ප්‍රතිඵලයක් බවත්, කාබන් විමෝචනය අවම කිරීමට ලෝක නායකයන් වහාම පියවර ගත යුතු බවත් පරිසරවේදීහු අවධාරණය කරති.















