ඇන්තනි ස්කාරමුචි (Anthony Scaramucci) යනු 2017 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ අයෙකි. එහෙත් ඔහුගේ එම සේවා කාලය සීමා වූයේ දින 11කට පමණි. එතැන් පටන් ඔහු ට්‍රම්ප්ගේ දැඩි විවේචකයෙකු බවට පත්ව සිටී. ඔහු පවසන්නේ ට්‍රම්ප් සමඟ කිසිවෙකුට මිතුරන් විය නොහැකි බවත්, ට්‍රම්ප් සැමවිටම මිනිසුන් දෙස බලන්නේ තමාගේ වාසියට භාවිත කළ හැකි “ගනුදෙනුවක්” ලෙස පමණක් බවත්ය.
ස්කාරමුචි පවසන පරිදි ඔහුට ඇත්තේ “ට්‍රම්ප් යථාර්ථවාදී රෝග ලක්ෂණය” (Trump reality syndrome) වන අතර, ට්‍රම්ප්ට කළ හැකි දේ සහ ඔහුගෙන් ඇති විය හැකි අනතුර පිළිබඳව තමාට මනා අවබෝධයක් ඇත. “මම දන්නවා ඔහු මොන වගේ කෙනෙක්ද කියලා. ඔහුට කරන්න පුළුවන් දේවල් සහ ඔහුගෙන් තියෙන අවදානම ගැන මට පැහැදිලි අවබෝධයක් තියෙනවා,” යනුවෙන් ඔහු පවසයි.
මෑතකදී ඉරානයට එරෙහිව එල්ල වූ ප්‍රහාර පිළිබඳව අදහස් දක්වමින් ස්කාරමුචි කියා සිටියේ ට්‍රම්ප් කිසිවිටකත් පසුබට නොවන බවයි. ට්‍රම්ප්ගේ ඉක්මන් තීරණ ගැනීමේ ස්වභාවය (Impetuousness) මෙවැනි යුදමය තත්ත්වයන්ට හේතු වන බව ඔහු පෙන්වා දෙයි. ඔහු පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මිනිසුන්ගේ කෝපය නියෝජනය කරන “අවතාරයක්” (Avatar) මිස ඔවුන්ගේ ප්‍රශ්නවලට සැබෑ ප්‍රතිපත්තිමය විසඳුම් ලබා දෙන නායකයෙකු නොවන බවයි.
ස්කාරමුචි දැන් සිය අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන ‘The Rest Is Politics US’ නමින් ජනප්‍රිය පෝඩ්කාස්ට් වැඩසටහනක් පවත්වාගෙන යයි. “මම මගේ ජීවිතයේ බොහෝ අවස්ථාවල පරාජයට පත්වුණු කෙනෙක්. මම කියන්නේ ඒ අත්දැකීම්වලින් ඉගෙන ගන්න,” යනුවෙන් පවසන ඔහු ඉදිරියේදී ‘All the Wrong Moves’ නමින් නව ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඔහු විශ්වාස කරන්නේ ඇමෙරිකාව පවතින මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදී නැවතත් යහපත් මාවතකට අවතීර්ණ වනු ඇති බවයි.














