කැලිෆෝනියානු ෆෙඩරල් විනිසුරුවරියක වන රීටා ලින් (Rita Lin), ප්‍රකට කෘත්‍රිම බුද්ධි (AI) සමාගමක් වන ඇන්ත්‍රොපික් ආයතනය “ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සැපයුම් දාම අවදානමක්” ලෙස නම් කරමින් ට්‍රම්ප් පරිපාලනය පැනවූ තහනම තාවකාලිකව වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබේ. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් පසුගිය පෙබරවාරි මාසයේදී මෙම සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කළ අතර, ජනාධිපති ට්‍රම්ප් ද සියලුම ෆෙඩරල් ආයතනවලට ඇන්ත්‍රොපික් තාක්ෂණය භාවිත කිරීම නතර කරන ලෙස නියෝග කර තිබුණි.
විනිසුරු රීටා ලින් සිය නියෝගය මගින් පෙන්වා දී ඇත්තේ, රජය විසින් මෙම තීරණය ගැනීමට පෙර අදාළ සමාගමට කරුණු පැහැදිලි කිරීමට සාධාරණ අවස්ථාවක් ලබා දී නොමැති බවත්, එම තීරණය නීතියට පටහැනි මෙන්ම පදනම් විරහිත එකක් විය හැකි බවත්ය. ඇන්ත්‍රොපික් සමාගම සිය AI පද්ධති භාවිත කිරීමේදී පනවා ඇති සීමා කිරීම් (Usage restrictions) මත පදනම්ව ඔවුන් “විනාශකාරී පිරිසක්” (Saboteurs) ලෙස හැඳින්වීමට ආරක්ෂක දෙපාර්තමේන්තුවට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ද ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට රජයට සතියක කාලයක් ලබා දී ඇති අතර, එතෙක් පෙර පැවති තත්ත්වයම (Status quo) පවත්වාගෙන යාමට අධිකරණය නියෝග කළේය. ඇන්ත්‍රොපික් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අධිකරණ තීන්දුව පිළිබඳව තමන් සතුටු වන බවත්, රජය සමඟ එක්ව ආරක්ෂිත AI තාක්ෂණයක් ඇමෙරිකානුවන්ට ලබා දීමට තවදුරටත් කැපවන බවත්ය.














