අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීම් දෙකකදී අල්ලස් ලබාගත් රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමලය සහ වාලච්චේන යන ප්‍රදේශවලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
පළමු සිදුවීමේදී, ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිනි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ ස්ථානභාර නිලධාරියෙකු සහ ගිනි භටයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කන්තලේ ප්‍රදේශයේ සංචාරක අවන්හලක් සඳහා 2026 වර්ෂයට අදාළ ගිනි ආරක්ෂණ සහතිකය ලබා දීම වෙනුවෙන් රුපියල් 40,000ක අල්ලසක් ඉල්ලා, පසුව එය රුපියල් 35,000ක් දක්වා අඩු කර ලබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මතයි. මෙයින් රුපියල් 10,000ක් බැංකු ගිණුමකට බැර කරවාගෙන ඇති අතර, ඉතිරි මුදලින් රුපියල් 20,000ක් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් කොටුකර ගෙන ඇත. ඔවුන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දෙවන වැටලීමේදී වාලච්චේන ප්‍රදේශයේ ප්‍රජා විශෝධන නිලධාරියෙකු රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇත. අයිස් මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව අධිකරණය නියම කළ පැය 200ක ප්‍රජා සේවය නිසියාකාරව ඉටු නොකළ බව පවසා, ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර වරෙන්තු ලබා නොගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් මුදල ඉල්ලා තිබේ. මෙම සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














