මැදපෙරදිග කලාපය තුළ කඩිනමින් සාමය සහ ස්ථාවරත්වය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපතිවරයා අතර අද (08) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. පවතින යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපීය රටවල සාමයට සහ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තානාපතිවරුන් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.
යුද්ධයට සෘජුව සම්බන්ධ වී නොමැති කලාපීය රටවලට එල්ල වන ප්‍රහාර පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කළ ජනාධිපතිවරයා, එවැනි ප්‍රහාර කිසිසේත් අනුමත නොකරන බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තය සඳහා මැදපෙරදිග රටවල් ලබා දෙන සහාය ද මෙහිදී අගය කරන ලදී. විශේෂයෙන්ම එම රටවල රැකියාවල නිරත වන ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර සිටියේය.
ජාත්‍යන්තර නීතියට අනුකූලව මැදපෙරදිග කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සහතික විය. මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමානය, ඊජිප්තුව, පලස්තීනය, කටාර්, ඉරාකය, කුවේටය සහ ලිබියාව යන රටවල තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙන්ම අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.














