පවතින බලශක්ති අර්බුදය හමුවේ සෑම අමාත්‍යාංශයක්ම ඉන්ධන අරපිරිමැස්ම සඳහා ප්‍රායෝගික හා දත්ත මත පදනම් වූ තිරසාර සැලැස්මක් සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අධීක්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුව සමඟ අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර, මේ පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය. රජයේ සහ පෞද්ගලික අංශයේ සැපයුම් දාමයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවට ලබාදීම සහතික කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වන අතර, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
විවිධ ක්ෂේත්‍රයන්හි ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර බෙදා හරින ආයතනවල අවශ්‍යතා හඳුනාගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඒකාබද්ධ සැලැස්මක් සකස් කර ඇති අතර, සංචාරක ක්ෂේත්‍රය සඳහා QR පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් හෝටල් සඳහා අවශ්‍ය ගෑස් සහ ඉන්ධන සැපයීමටත් පියවර ගෙන ඇත. මීට අමතරව කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා පර්යේෂණ නිලධාරීන්ගේ නිර්දේශ මත ඉන්ධන නිකුත් කිරීම සහ බහුදින ධීවර යාත්‍රා මෙන්ම වරාය හා ගුවන් තොටුපළ මෙහෙයුම් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
රෝහල් සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය ඉන්ධන සංචිත පවත්වාගෙන යාමටත්, ඖෂධ ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව ලබාදීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත්, මීට සමගාමීව පොදු ප්‍රවාහන සේවා විධිමත් කිරීම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බලපෑම් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජාතික ආර්ථිකය සහ මහජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් යාවත්කාලීන වන දත්ත පද්ධතියක් පවත්වා ගනිමින් පූර්ණ මැදිහත්වීමක් සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍ය වසන්ත සමරසිංහ, බිමල් රත්නායක, කේ.ඩී. ලාල්කාන්ත, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, අනුර කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.














