අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත භූමියක නිදන් හෑරීමේ සිද්ධියට අදාළව මාස 7ක් රිමාන්ඩ් භාරයේ පසු වූ කොළඹ දිශාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති (DIG) උදිත් ලියනගේ මහතාගේ බිරිය ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අද (03) අධිකරණය හමුවේ වරද පිළිගත්තේය. ඒ අනුව වරද පිළිගත් ඩී.ඒ. ඉන්ද්‍රානී කුමාරි දිසානායක සහ කට්ටඩියෙකු ඇතුළු පිරිසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කරන ලදී.
කෙසේ වෙතත්, මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ සහ 9 වන සැකකරු වන යුද හමුදා සාමාජිකයා තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළි නොගත් බැවින් ඔවුන් දෙදෙනාව තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නිදන් හෑරීමට ආධාර අනුබල දීම, රජයේ දේපළ අවභාවිත කිරීම සහ අත්අඩංගුවට ගත් සිය බිරිය ඇතුළු පිරිස නිදහස් කරන ලෙස පොලිසියට බලපෑම් කිරීම යන චෝදනා එල්ල වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
















