ගෝලීය සිනමා උළෙල රැසක ප්‍රශංසාවට ලක්වූ අනුරාග් කාශ්‍යප්ගේ ‘Kennedy’ චිත්‍රපටය වසර තුනක පොරොත්තුවකින් පසු අද (20) Zee5 හරහා ඉන්දියාවේදී නිල වශයෙන් මුදා හැර තිබේ. කෙසේ වෙතත්, ඉන්දීය චිත්‍රපට සංවේදී මණ්ඩලයේ (CBFC) නිර්දේශ මත මෙහි අන්තර්ගත සංවේදී දේශපාලන සහ අපරාධ ලෝකයට සම්බන්ධ කරුණු රැසක් සංශෝධනය කර ඇති බව වාර්තා වේ. රාහුල් භාට් සහ සනී ලියොන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම ‘නොයර්’ (Noir) කාණ්ඩයේ සිනමාපටය, දූෂිත පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් මිනීමරුවෙකු ලෙස කටයුතු කරන හිටපු පොලිස් නිලධාරියෙකු වටා ගෙතී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම චිත්‍රපටයේ මුල් පිටපතේ තිබූ පාතාල කල්ලි නායක දාවුඩ් ඊබ්‍රාහිම් පිළිබඳ සඳහන් කිරීම් ඉවත් කර ඒ වෙනුවට ‘පකිස්ථාන දොන්’ (Pakistan Don) යන වචනය ආදේශ කර ඇත. එසේම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ වූ දෙබසක් ‘Pump Trump’ ලෙස වෙනස් කර ඇති බවත්, තත්පර 14ක දර්ශනයක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් සංවේදී මණ්ඩලය පියවර ගෙන තිබේ. මීට අමතරව කුණුහරුප වචන නිහඬ කිරීම (Mute) සහ දුම්පානය කරන සෑම දර්ශනයකම අවවාදාත්මක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම ද සිදු කර ඇති අතර, මෙම වෙනස්කම් හේතුවෙන් ඇතැම් රසිකයන් සිය අතෘප්තිය පළ කර ඇති බව ද සඳහන් වේ.













