2026 ෆෝමියුලා 1 (F1) තරග වාරයේ ආරම්භයත් සමඟ ඇපල් සමාගම සහ මෙම ක්‍රීඩාව අතර පවතින සබඳතාවය විදහා දක්වන අපූරු වීඩියෝවක් ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඇපල් පාර්ක් (Apple Park) මූලස්ථානයේ රූගත කර ඇති මෙම වීඩියෝවේ වත්මන් ලෝක ශූර මැක්ස් වර්ස්ටැපන් (Max Verstappen) සිය රේසිං මෝටර් රථයෙන් පෙනී සිටීම කාගේත් අවධානයට ලක්ව ඇත.
ටිම් කුක් සිය ගොල්ෆ් රථයෙන් ගමන් කරමින් සිටියදී අහම්බෙන් මෙන් වර්ස්ටැපන්ව මුණගැසෙන අතර, එහිදී සිදුවන සුහද කතාබහකින් පසුව වර්ස්ටැපන්ගේ ‘පිට් කණ්ඩායම’ (Pit Crew) විසින් ටිම් කුක්ගේ ගොල්ෆ් රථය පරීක්ෂා කර සේවා සපයන ආකාරය මෙහි හාස්‍යජනක ලෙස නිරූපණය කර තිබේ. ඇපල් ටීවී (Apple TV) හරහා 2026 වසරේ සිට ෆෝමියුලා 1 තරග සජීවීව විකාශය කිරීමේ ප්‍රවර්ධන කටයුත්තක් ලෙස මෙම වීඩියෝව නිර්මාණය කර ඇති අතර පසුගිය සති අන්තයේ ඕස්ට්‍රේලියානු ග්‍රෝන් ප්‍රී (Australian Grand Prix) තරගය සමඟ එම විකාශන කටයුතු ආරම්භ විය.
මේ අතර 2026 වසරේ පළමු තරගයට සහභාගී වූ මැක්ස් වර්ස්ටැපන්ට එහිදී යම් අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වූ අතර ඔහුට මෙල්බර්න්හිදී හිමි වූයේ 6 වන ස්ථානයයි. තරගය අතරතුර රේඩ් බුල් (Red Bull) රථයේ තිරිංග පද්ධතියේ සහ සුක්කානමේ (Steering) ඇති වූ කාර්මික දෝෂ කිහිපයක් හේතුවෙන් තමන්ට බලාපොරොත්තු වූ ජයග්‍රහණය කරා යාමට නොහැකි වූ බව වර්ස්ටැපන් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.














