එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ප්‍රවාහන සේවාවන් ලබන අප්‍රේල් 09 වැනි බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ අතිරේක බස් රථ 1500 ක් ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති සජීව කන්නන්ගර මහතා ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන්, බදුල්ල, මහනුවර, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, හලාවත සහ පුත්තලම ඇතුළු ගමනාන්ත රැසක් වෙනුවෙන් මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. මීට අමතරව අධිවේගී මාර්ගවලද විශේෂ සේවාවන් ක්‍රියාත්මක වන අතර එහිදී ගාල්ල සහ මාතර ගමනාන්ත වෙත විශේෂ ප්‍රමුඛතාවක් ලබා දී ඇති බව සඳහන්.
මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද මගී අවශ්‍යතාවන්ට සරිලන පරිදි එළඹෙන බ්‍රහස්පතින්දා සිටම විශේෂ අවුරුදු දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.














