හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට එරෙහිව ගොනු කර ඇති මූල්‍ය දූෂණ චෝදනාවකට අදාළ අධිචෝදනා පත්‍ර අද (23) කොළඹ මහාධිකරණය හමුවේදී භාර දෙනු ලැබීය. මෙහිදී විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, මෙම නඩුවේ පූර්ව නඩු විභාග සමුළුව ලබන මැයි මස 15 වැනිදා කැඳවීමට නියමිතව ඇත.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2017-2018 කාලසීමාව තුළ මෙරටට ඉන්ධන මිලදී ගැනීම සඳහා මාස හයක කාලයක් සඳහා සැලසුම් කර තිබූ දීර්ඝකාලීන ටෙන්ඩර් 3ක් අවලංගු කර, ඒ වෙනුවට ඉහළ මිල ගණන් යටතේ ක්ෂණික ටෙන්ඩර් (Spot Tenders) 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමයි. එමඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කර ඇති බවටත්, ඊට අනුබල දී ඇති බවටත් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා එල්ල වී තිබේ.














