හිටපු අමාත්‍යවරයෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අසහාය නායකයෙකු වන අර්ජුන රණතුංග මහතා ඉදිරි මාස කිහිපය ඇතුළත නැවතත් සක්‍රීය දේශපාලනයට පිවිසීමේ සූදානමක් පවතින බවට ඉඟි පළ කර තිබෙනවා. තමන්ගේ වත්මන් දේශපාලන ස්ථාවරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වන විටත් තමන් මහා සංඝරත්නය මෙන්ම විවිධ දේශපාලන නායකයන් සමඟද සාකච්ඡා පවත්වමින් සිටින බවයි. එසේම නැවතත් දේශපාලන පිටියට පිවිසෙන ලෙස තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් ආරාධනා රැසක් ලැබෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.
නවතමයෙන් පත් වූ බලධාරීන්ට සිය කටයුතු කරගෙන යාම සඳහා කාලය ලබා දීමේ අරමුණින් තමන් මීට පෙර දේශපාලනයෙන් තරමක් දුරස්ව සිටි බව පෙන්වා දුන් රණතුංග මහතා, ඉදිරි මාස තුනත් හයත් අතර කාලය ඇතුළත සිය අවසන් තීරණය ගන්නා බවයි ප්‍රකාශ කළේ. “මහජනතාව කිව්වා ඔවුන්ට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි කියලා. ඔවුන්ට එය ලැබුණා. දැන් මහජනතාවම දන්නවා ඇති ගත්ත තීරණය හරිද වැරදිද කියලා. මම දේශපාලනයෙන් ඈත් වෙලා හිටියේ අලුතින් පත්වුණු බලධාරීන්ට යම් කාලයක් ලබා දෙන්නයි. නමුත් ඉදිරියේදී එහෙම අවශ්‍යතාවයක් ඇති වුණොත් මම නැවත එන එක නවත්වන්න කිසිම කෙනෙකුට බැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ රට වෙනුවෙන් සේවය කිරීමට තමන් සැමවිටම සූදානමින් පසුවන බවයි.














