නයිජීරියාවේ වයඹදිග නයිජර් (Niger) ප්‍රාන්තයේ පිහිටි ගම්මාන තුනකට සෙනසුරාදා අලුයම යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් එල්ල කළ දරුණු ප්‍රහාරවලින් පුද්ගලයන් 30කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. යතුරුපැදි 41කින් පැමිණි මෙම පිරිස වැසියන්ට වෙඩි තැබීම සහ තියුණු ආයුධවලින් පහර දීම සිදු කර ඇති අතර නිවාස ගිනිබත් කරමින් නියමිත සංඛ්‍යාවක් තහවුරු නොවූ පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව ද ප්‍රාදේශීය වාර්තා සඳහන් කරයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගියදා පුද්ගලයන් 100කට අධික පිරිසක් ඝාතනය වූ ජිහාඩ් සන්නද්ධ ප්‍රහාරය සිදු වූ ස්ථානයට නුදුරින් වීම විශේෂත්වයකි.
ප්‍රහාරය එල්ල වූ ආකාරය පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව පළමුව ටුංගා-මාකේරි (Tunga-Makeri) ගම්මානයට කඩා වැදුණු සන්නද්ධ පිරිස එහි වැසියන් හය දෙනෙකු ඝාතනය කර නිවාස ගිනිබත් කර ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොන්කොසෝ (Konkoso) ගම්මානයෙනි. එහි වැසියන් රැසක් ඝාතනය කර නිවාස සියල්ලම පාහේ විනාශ කර ඇති බවත් කාන්තාවන් සිව්දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවත් ඇසින් දුටුවෝ පවසති. අනතුරුව පීසා (Pissa) ගම්මානයට පැමිණි කොල්ලකරුවන් එහි පොලිස් ස්ථානයකට ගිනි තබා තවත් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. රොයිටර් පුවත් සේවය මරණ සංඛ්‍යාව 32ක් ලෙස සඳහන් කරන අතර ඒ.එෆ්.පී (AFP) පුවත් සේවය පවසන්නේ අවම වශයෙන් 46 දෙනෙකු මියගොස් ඇති බවයි.
නයිජීරියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ජිහාඩ් සන්නද්ධ කල්ලි සහ බෙදුම්වාදී කැරලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය පාලනය කරන ලෙස එරට රජයට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද මේ පිළිබඳව අනතුරු ඇඟවීමක් කර තිබේ. ඉස්ලාම් අන්තවාදීන් විසින් කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකරන්නේ නම් ඉදිරියේදී තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් මහතා අනතුරු අඟවා ඇතත් දේශපාලන ප්‍රචණ්ඩත්වය නිරීක්ෂණය කරන සංවිධාන පෙන්වා දෙන්නේ ජිහාඩ් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වන පිරිස අතරින් බහුතරයක් මුස්ලිම් ජාතිකයන් බවයි.














