ඉන්ධන පෝලිම් පවතින අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බූලි සහ විවිධ භාජනවලට ඉන්ධන ලබාගෙන ඒවා වැඩි මිලට විකිණීමේ ජාවාරම්වල නිරත වන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට සහ ඔවුන් නීතියේ රැහැනට හසුකර දීමට යුද හමුදා බුද්ධි අංශ යොදවා ඇති බව ඒ මහතා අවධාරණය කළේය.
ත්‍රී රෝද රථ සහ අනෙකුත් වාහන තුළ රහසිගතව බූලි සඟවාගෙන පැමිණ ඉන්ධන ලබාගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රාදේශීය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇත. එවැනි ජාවාරම් සඳහා අනුබල දෙන හෝ ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ඉන්ධන හල් හිමියන්ගේ බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අනීතික ක්‍රියාවලට සම්බන්ධ වී අනවශ්‍ය ලෙස හිරේ විලංගුවේ වැටීමට කටයුතු නොකරන ලෙසයි.














