‘සුවපත් රටක්’ තේමාව යටතේ ක්‍රියාත්මක ‘හෙල්දි ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු “ආරෝග්‍යා” ජංගම සුව සායන මාලාවේ 54 වැනි අදියර ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද මෙම සායනය මූලික වශයෙන් මධ්‍යස්ථානයේ වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා සහ උන්වහන්සේලාට උපස්ථාන කරන පිරිස ඉලක්ක කරගත් අතර, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙයින් ප්‍රතිලාභ ලැබූහ. කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන් සිය දායකත්වය ලබා දුන් මෙම වැඩසටහනේදී අක්ෂි, දන්ත, දියවැඩියාව, රුධිර පීඩනය සහ මානසික උපදේශන ඇතුළු වෛද්‍ය සේවාවන් රැසක් නොමිලේ ලබාදීමට පියවර ගැනුණි.














