සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ 55 වන අදියර ජනාධිපති කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් අද (18) පැවැත්විණි. “Healthy Sri Lanka” යන තේමාව යටතේ ජනාධිපති කාර්යාලයේ වාර්ටඩි සහ සෙමා ගොඩනැගිලි පරිශ්‍රයන්හිදී පැවැති මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කර තිබුණි.
මෙම ජංගම සායනය හරහා බටහිර සහ ආයුර්වේද වෛද්‍ය පරීක්ෂණ, අක්ෂි හා දන්ත සායන, රුධිර පීඩනය, සීනි සහ කොලස්ටරෝල් පරීක්ෂාවන් මෙන්ම මානසික උපදේශන හා පෝෂණවේදී උපදෙස් ද ලබා දෙන ලදී. රෝගී තත්ත්වයන් හඳුනා ගනු ලැබූ පුද්ගලයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමු කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබූ අතර කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් මේ සඳහා දායකත්වය ලබා දුන්හ.
කාර්යබහුල රාජකාරිවල නියැලෙන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මෙවැනි සායන පැවැත්වීම කාලෝචිත බව සහභාගී වූ නිලධාරීහු ප්‍රකාශ කළහ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මීළඟ සායනය එළඹෙන පෙබරවාරි 21 වන සෙනසුරාදා දෙහිවල ගල්කිස්ස මහනගර සභා කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.














