සඳ වටා ගමන් කරමින් ඓතිහාසික ආටෙමිස් II (Artemis II) මෙහෙයුම සාර්ථකව නිම කළ ගගනගාමීන් සිව්දෙනා අද (12) ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නුවරදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පෘථිවියට පැමිණීමෙන් පසු පැවැති විශේෂ උත්සවයකදී මෙහෙයුම් අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් ප්‍රකාශ කළේ, මෙය තම ජීවිතයේ අත්විඳි සුවිශේෂීම අත්දැකීම බවයි.
දින නවයක කාලයක් පුරා පැවැති මෙම අභ්‍යවකාශ චාරිකාව සඳහා රීඩ් වයිස්මන් සමඟ ගුවන් නියමුවා ලෙස වික්ටර් ග්ලෝවර්, මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් එක් වූහ. මිනිස් ඉතිහාසයේ පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කළ ගගනගාමීන් ලෙස ඔවුන් වාර්තා අතරට එක් වූ අතර, සෙනසුරාදා දින ඔවුන් යළි සිය පවුල්වල සාමාජිකයන් සමඟ එක්වී තිබේ.
මෙම ආටෙමිස් II මෙහෙයුම මගින් මිනිසුන් සඳ මතුපිටට ගොඩබැස්වීමේ මීළඟ අදියර සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ආරක්ෂණ ක්‍රමවේද සාර්ථකව අත්හදා බලන ලදී. “පෘථිවි ග්‍රහලෝකය මත සිටීම කෙතරම් සුවිශේෂී දෙයක්දැයි දැන් අපට වඩාත් හොඳින් වැටහෙනවා” යනුවෙන් ගගනගාමීන් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ.













