දශක පහකට වැඩි කාලයකට පසු මිනිසුන් රැගත් යානයක් සඳ බලා යන “ආටිමිස් II” මෙහෙයුම අද (01) රාත්‍රියේ අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබේ. මේ සඳහා ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට වෙරළ තීරයන් සහ වීදි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගෙන් පිරී පවතින බව වාර්තා වේ.
මෙම පරීක්ෂණ චාරිකාව දින 10ක් පුරා ක්‍රියාත්මක වන අතර, ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වටා ගමන් කර නැවත පෘථිවියට පැමිණීමට නියමිතය. මෙය සඳ මත ගොඩබැසීමක් සිදු නොකළද, මීට පෙර කිසිදු මිනිසෙකු ගමන් නොකළ තරම් දුරක් අභ්‍යවකාශයේ ගමන් කරමින් නව වාර්තාවක් තැබීමට මෙම කණ්ඩායම සූදානම් වේ. මෙම මෙහෙයුම නැරඹීම සඳහා ලොව පුරා සංචාරකයන් 400,000ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඉන් එම ප්‍රදේශයට ලැබෙන ආර්ථික ලාභය ඩොලර් මිලියන 160ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
අනාගතයේදී සඳ මත ස්ථිර කඳවුරක් ඉදි කිරීම සහ එතැන් සිට අඟහරු ලෝකය (Mars) වෙත ගමන් කිරීම නාසා (NASA) ආයතනයේ අවසන් ඉලක්කයයි. 1972 වසරෙන් පසු මිනිසුන් සඳ වෙත යන පළමු අවස්ථාව මෙය වන බැවින්, අභ්‍යවකාශ ලෝලීන් අතර මෙය දැඩි උද්යෝගයක් ඇති කර තිබේ. ෆ්ලෝරිඩාවේ වෙරළ තීරයන් මේ වන විට සංචාරකයන්ගේ කඳවුරු සහ උත්සවශ්‍රීයෙන් පිරී පවතින අතර, අද රාත්‍රියේ අහස ආලෝකමත් කරමින් මෙම දැවැන්ත රොකට්ටුව ගමන් කරනු දැකීමට ලොවම බලා සිටී.














