මිනිස් සංහතියේ අනාගතය වෙනුවෙන් සඳ මත ස්ථිර මිනිස් ජනාවාසයක් පිහිටුවීමේ මූලික පියවරක් ලෙස, වසර 53කට පසුව ප්‍රථම වතාවට මිනිසුන් සහිත යානයක් සඳ බලා යැවීමේ ඓතිහාසික ‘Artemis II’ (ආටෙමිස් 2) මෙහෙයුම ක්‍රියාවට නැංවෙනවා. ඇමරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් මෙහෙයවන මෙම සුවිශේෂී මෙහෙයුම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (අප්‍රේල් 2) අලුයම 3.54ට අභ්‍යවකාශගත වීමට නියමිත බව කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පෙන්වා දෙනවා.
මෙම ආටෙමිස් 2 මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර, ඔවුන් සඳ වටා ගොස් (Lunar Flyby) දින 10ක පමණ කාලයකින් පසු නැවත පෘථිවියට පැමිණෙනු ඇත. මෙය ඉදිරියේදී සඳ මත සැබවින්ම මිනිසුන් ගොඩබැස්සවීමට නියමිත ‘Artemis III’ මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා අභ්‍යවකාශ යානයේ ජීව ආධාරක පද්ධති පරීක්ෂා කෙරෙන අතිශය තීරණාත්මක පියවරකි. මෙවර ගමන සඳහා සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වන අතර, ඊට ප්‍රථම වතාවට කාන්තා ගගනගාමියෙකු මෙන්ම ඇමරිකානු නොවන කැනේඩියානු ගගනගාමියෙකු ද ඇතුළත් වීම විශේෂත්වයක්. මීට පෙර අවසන් වරට මිනිසුන් සඳ වෙත මෙලෙස ගමන් කළේ 1972 වසරේ ක්‍රියාත්මක වූ සුප්‍රකට ඇපලෝ 17 (Apollo 17) මෙහෙයුමෙනි.














