‘ආටෙමිස් 2’ (Artemis II) ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුම ආරම්භ වූ මුල් දිනයේදීම ගගනගාමීන්ට මුහුණ දීමට සිදු වූ අපූරු මෙන්ම අභියෝගාත්මක වැසිකිළි ගැටලුව සාර්ථකව විසඳා ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. සඳ බලා යන ඔරායන් (Orion) යානයේ සවිකර ඇති, ඩොලර් මිලියන 30ක් පමණ වටිනා ‘UWMS’ (Universal Waste Management System) නමැති අතිනවීන වැසිකිළි පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී මුත්‍රා එකතු කරන කොටසේ වායු ප්‍රවාහය නිසි පරිදි සිදු නොවීම නිසා මෙම දෝෂය හටගෙන තිබුණා.
ගුරුත්වාකර්ෂණයක් නොමැති අභ්‍යවකාශයේදී අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වායු ප්‍රවාහය (Suction) අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, මෙම දෝෂය නිසා ගගනගාමීන් පැය කිහිපයක් යනතුරු වැසිකිළි භාවිතයෙන් වැළකී සිටීමටයි සිදුවුණේ. කෙසේ වෙතත්, පෘථිවියේ පාලන මැදිරිය ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කළ මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කොක් (Christina Koch) සාර්ථකව මෙම දෝෂය මඟහරවා ගනිමින් වැසිකිළිය යළි යථා තත්ත්වයට පත් කිරීමට සමත් වුණා. පසුව ඇය හාස්‍යයෙන් යුතුව තමන්ව හඳුන්වා දුන්නේ “අභ්‍යවකාශ ප්ලම්බර්” (Space Plumber) ලෙසයි.














