ආසියානු රග්බි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙවර කොළඹදී පැවැත්වෙන ආසියානු රග්බි ක්ලබ්ස් කුසලාන (Asia Rugby Clubs Cup) තරගාවලිය සඳහා ප්‍රථම වතාවට කාන්තා කණ්ඩායම් ද ඇතුළත් කිරීමට සංවිධායකයෝ තීරණය කර ඇත. 2026 ජූලි 4 සහ 5 යන දිනවල පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය පිරිමි කණ්ඩායම් අටකින් සහ කාන්තා කණ්ඩායම් අටකින් සමන්විත වන පරිදි පුළුල් කර තිබේ. මෙම කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ ආසියානු රග්බි ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින රටවල් 12 ක ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ අතරින් වීම විශේෂත්වයකි.
කාන්තා රග්බි ක්‍රීඩාව වෘත්තීය මට්ටමට ඔසවා තැබීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපාර්ශ්වයටම සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් මෙම වෙනස්කම සිදු කර ඇත. ආසියානු රග්බි ප්‍රජාව තුළ පවතින විවිධත්වය සහ එකමුතුකම සැමරීම සඳහා මෙය කදිම අවස්ථාවක් වනු ඇති බව බලධාරීහු පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත ක්‍රීඩා උළෙල මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතියට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට ද විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















