ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව තුන්වන දිනටත් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ. අද (මාර්තු 04) බදාදා උදෑසන වන විට වාර්තා වන දත්තවලට අනුව ලොව ප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළ දර්ශක රැසක් රතු පැහැයෙන් (පහත වැටෙමින්) පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ආර්ථික බලපෑම පිළිබඳ විස්තර විමසා බලන විට දකුණු කොරියාවේ ‘කොස්පි’ (KOSPI) දර්ශකය 7% ක පහළ මට්ටමකින් විවෘත වී මේ වන විට 6% ක පසුබෑමක් පෙන්නුම් කරයි. එසේම ජපානයේ ‘නිකේයි’ (Nikkei 225) දර්ශකය 3.6% කින් ද, ඕස්ට්‍රේලියාවේ ‘ASX 200’ දර්ශකය 1.8% කින් ද පහත වැටී ඇති අතර හොංකොං හි ‘හැන්ග් සෙන්ග්’ (Hang Seng) දර්ශකය ද දැඩි අවපාතයකට ලක්ව තිබේ.
මේ අතර ලෝක තෙල් වෙළෙඳාමේ තීරණාත්මක මංසන්ධියක් වන ‘හෝර්මුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) හරහා සිදුවන නෞකා ගමනාගමනය අඩාල වීම හේතුවෙන් බ්‍රෙන්ට් (Brent) බොරතෙල් සහ අමෙරිකානු තෙල් මිල 1.2% කින් ඉහළ ගොස් ඇත. යුදමය තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය බලශක්ති සැපයුමට සහ කොටස් වෙළෙඳපොළට මීට වඩා දරුණු බලපෑම් එල්ල වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.














